සභාපතිතුමාගේ පණිවිඩය

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස, මහර ආසනයට නායකත්වය ලබාදීමට ලැබීම පිළිබඳව, මා තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක් වගේම විශාල ආත්ම තෘප්තියක්.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" සංකල්පයට අනුව, මුළු රටම සාර්ථකත්වයේ අභිමානය කරා, නිවැරදි දිශානතියකට ප්‍රවිශ්ඨ වී ඇති අවස්ථාවක,
ඒ ඔස්සේ යමින් මහර ආසනයේ ගමන් මගෙහි හැරවුම් ලක්ෂය සනිටුහන් කරන්නට,
දායක වීමට ලැබීම, මූලිකත්වය ගැනීමට ලැබීම, මා මගේ දිවියේ ලද භාග්‍යයක් කොට සලකනවා.
මහර ප්‍රදේශය කියන්නේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිවන ප්‍රදේශයක්. විශාල ජන සංඛ්‍යාවක් වාසය කිරීම වගේම, නාගරික සංවර්ධනය සිදුවෙමින් පවතින, විවිධ ජන වර්ගවලට අයත්, විවිධ ආගම්වලට අයත් ජන කොටස් ජීවත් වන, බහු සංස්කෘතික වටපිටාවක් ඇති ප්‍රදේශයක්. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, වෙනත් අධ්‍යාපන ආයතන, රජයේ මෙන්ම පෞද්ගලික ආරෝග්‍ය ශාලා, ව්‍යාපාරික මධ්‍යස්ථාන, බැංකු, සුපිරි වෙළඳසැල් මෙන්ම කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන, අධිවේගී මාර්ග ඇතුළු විශාල මාර්ග පද්ධතියක්, සංස්කෘතික වටිනාකම් සහිත ආගමික ස්ථාන, ස්වභාවික සෞන්දර්යයෙන් යුත් ග්‍රාමීය ප්‍රදේශ, කෘෂිකාර්මික ප්‍රදේශ වලින් සමන්විත ප්‍රදේශයක් වගේම, දැනුම, විවිධ කුසලතා, මානවීය ගුණාංග, හැකියාවන්, දක්ෂතා හා හස්ත කර්මාන්ත ආදියෙන් පෝෂණය වූ, මානුෂීය, සහකම්පනය ඇති, අගනා මානව සම්පතකින් යුතු වූ ප්‍රදේශයක්. නිසැකවම, පූර්ණ සංවර්ධනය කරා ගෙන යා හැකි, නිබඳවම, සතුටින් ජීවත්වන මානව සම්පතක් නිර්මාණය කර ගත හැකි, සොඳුරු ප්‍රදේශයක්.
මෙවන් වටපිටාවක් ඇති ප්‍රදේශයක, ජනතාවට ලැබිය යුතු මූලිකම අවශ්‍යතා හා පහසුකම් වන, මංමාවත් සංවර්ධනය කර නිසි පරිදි සැකසීම, වීථි ලාම්පු ක්‍රමවත්ව නිසි පරිදි සැකසීම හා නඩත්තුව, කැලිකසල බැහැර කිරීමට විධිමත් ක්‍රමවේදයක් පැවතීම, නිසි පරිදි ජලය බැසයාමට විධිමත් කාණු පද්ධතියක් පැවතීම වැනි මූලිකාංග ටිකවත් මෙතෙක් සම්පූර්ණ වී නොතිබීම කනගාටුවට කරුණක්. ඉතිහාසය පුරා පැවැති, දූෂිත, අදූරදර්ශී, අත්තනෝමතික පාලනයන් මීට හේතු වූ බව අපට හොඳින්ම පසක් වී තිබෙනවා. ජනතාව තලා පෙලා, ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරමින්, රාජ්‍ය සම්පත් විනාශ කරමින්, ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා ටිකවත් සම්පාදනය නොකළ, ඒ අඳුරු පාලන යුගය දැන් අප නිමා කොට අවසන්.
දැන් ගම හදන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට, මා වටා මහා යදමක් මෙන් බැඳුණු නියමුවන් පිරිසක් ඉන්නවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ගෙන යන රට ගොඩනගන කර්තව්‍යය, ගම කරා විහිදුවන්නට, අප ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී පිරිස මා හා අත්වැල් බැඳගෙන ඉන්නවා. අපත් සමඟ මේ ගමන යන්නට නිරන්තරයෙන් එක්රොක් වූ විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් වගේම, අලුතින් මේ වැඩපිළිවෙල සමග එකතු වන්නට, අපූර්වත්වයෙන් නවමු ගමනක් යන්නට අවංකව එක්වන්නට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ වගේම, ආසනය පුරා විසිරී පැතිරී, ගම ගොඩනගන්නට සිහින දකින, ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපකිරීම් කරන, පැහැදිලි සාර්ථක වෙනසකට දෑස් දල්වමින් ඇප කැපවන, ආදරණීය ජනතාවක් ඉන්නවා. ඉතින් අපට පුළුවන්, මේ උත්සාහයේ ඵල නෙළන්න.
මහර ප්‍රාදේශීය සභාව කියන්නේ, වාර්ෂිකව විශාල ආදායමක් ලබන සහ ඊටත් වඩා ආදායමක් ලැබිය හැකි රාජ්‍ය ආයතනයක්. ඒ ආදායම වගේම, රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සියල්ල, ඉතා සකසුරුවම්ව, නිර්ව්‍යාජව, ජනතාවගේ සුභසිද්ධියට, ප්‍රදේශයේ සංවර්ධනයට යොදවන්න අපි සූදානම්. මහර ප්‍රාදේශීය සභාව සාර්ථකව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල මේ වන විටත් අප ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ, මින් ඉදිරියට, කාර්යක්ෂම හා අවංක සේවයක්, මහජනතාව වෙනුවෙන් ලබා දීමට, වැඩ කටයුතු සම්පාදනය කරමින් පවතිනවා.
තව දුරටත් අප වටහාගත් කාරණය නම්, ප්‍රාදේශීය සභාවේ කාර්යභාරය, හුදෙක් භෞතික සම්පත් සංවර්ධනය කිරීම හා නිශ්චිත පොදු සේවාවන් ටිකක් ලබාදීම පමණක් නොවන බවයි. ඉන් ඔබ්බට, ප්‍රදේශයේ මානව සම්පත සංවර්ධනය කිරීමට, ඔවුන්ගේ හැකියා කුසලතා ඔප්නැංවීමට පමණක් නොව ආකල්ප සංවර්ධනය කිරීම කෙරෙහි ද අපේ අවධානය යොමුවී තිබෙනවා. විවිධ මානසික පීඩනයන්ට ගොදුරු වන, රෝගාබාධ හෝ ආර්ථික ගැටලු හේතුවෙන් මානසික බිඳ වැටීම්වලට ලක්වී සිටින ජනතාව පිළිබඳවත්, ගෘහස්ථ හිංසනය හෝ වෙනත් සාමාජීය බලපෑම් හේතුවෙන්, පීඩාකාරී තත්ත්වයන්ට පත්ව සිටින දරුවන් හා කාන්තාවන් පිළිබඳවත්, ග්‍රාම සේවා වසම් මට්ටමින්ම සොයා බලා, ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා හා ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා ආදිය පිළිබඳවත්, විශේෂ අවධානයක් යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
කෘෂිකර්මාන්තය ඇතුළු ප්‍රාදේශීයව දියුණු කළ හැකි කුඩා කර්මාන්ත නගා සිටුවීමටත්, ව්‍යවසායකයන් දිරිමත් කරමින් නගා සිටුවීමටත්, ස්වයං රැකියා අවස්ථා හඳුන්වා දෙමින්, ගෘහස්ථ කාන්තාව, ආර්ථික සංවර්ධනයට අවැසි ශ්‍රමිකයෙක් ලෙස වටිනාකමක් එක් කිරීමටත්, අප ක්‍රමානුකූල ක්‍රමවේදයන් සකස් කරමින් සිටිනවා.
ඉතින් මේ සියල්ල සිදුකිරීමට, අපට අවශ්‍ය, ආදරණීය ජනතාව ලෙස ඔබේ දායකත්වය හා කැපවීමයි. රට දිනවන වැඩපිළිවෙලට, මහරින් යෝධ ශක්තියක් වෙමින්, සොඳුරු මහරක් තනන්නට, ඇප වෙමු, කැප වෙමු, වග වෙමු යන ආදරණීය ආරාධනය, අභිමානවත් මහර ජනතා පවුර හමුවේ තබන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.
ස්තුතියි.
කේ.ඒ.අතුල ජයන්ත්
සභාපති,
මහර ප්‍රාදේශීය සභාව,
2026.06.09